Wednesday 25 February 2009

කවන්ධයක කතන්දරය



ගුණදාස අමරසේකරගේ නාට්‍ය පිටපතක එන උපාලි නමැති අවසන් වසර වෛද්‍ය සිසුවා පිලිබඳ කතාව රොහාන් ගුනරත්නගේ lost revolution හිද ලියැවි ඇති සත්‍ය කතාවකි.

(ගුනරත්නට අනුව ඔහු ජවිපෙ තෙවනි පෙල නායකත්වයයි. මුල සිටම සන්නද්ධ ක්‍රියාමාර්ග වලට එරෙහිවූ ඔහු දෙවනපෙල නායකත්වය කොන්දේසි විරහිතව අමානුෂික අන්දමින් විනාශ කෙරෙද්දී පවා නොසැලී නොබියව බිඳ වැටෙන සංවිධානය රැකගැනීමට කැපවූ විශිෂ්ඨ නායකයෙක් බැව් ගුනරත්න, ඔහු වෙනුවෙන් වෙන් කරන death of a revolutionary ඡේදයේ සඳහන් කරයි.)

උපාලි ජවිපෙට හිතවත් බැවින් ඔහුව පැහැරගන්නා “බස්සා” නම් ඝාතන කල්ලිය, ප්‍රශ්න කිරීමෙන් පසු උපාලිගේ ඉරණම තීරණය කරති. සිහි විකල්වු උපාලිගේ පියා අසීමිත වූ දාරක ශෝකයෙන් පීඩිතව “ දොස්තර”පුතු ගැන විමසමින් මහනුවර වීදි දිගේ ඇවිදියි. අසල සිටින පොලිස් භටයින් දෙදෙනා අසරණ පියාට උසුලු විසුලු කරති. ඒ අසලම ඇත්තේ අඩක් දැවී ගිය හිස සුන් සිරුරකි. නව ජපන් තානපති දලදා වැඳගන්නට එන බැවින් සිරුර වහා ඉවත් කෙරේ. දරු සොවින් සිහි විකල් වූ පියා, අසල වු සිරුර හඳුනාගත නොහැකිව නැතිවු පුතු ගැන විමසමින් ඉබාගාතේ යයි.

අමරසේකර මේ කතාවෙන් පෙන්වාදෙන්නේ අඩසියවසකට අධික කාලයක් තුල නොයෙකුත් වර්ගයේ ඔලුගෙඩි හයි කරමින් අප ජාතියේ කවන්ධයට සුදුසු හිසක් සෙවූ ආකාරයයි. ලිබරල්, මාක්ස්වාදි, සමාජවාදි, ධනවාදී ආදි නොයෙකුත් වර්ගයේ ඔලුගෙඩි මේ කවන්ධයට හයි කරමින් අප විසින් කරන ලද අත්හදා බැලීම් වල නිශ්පල ස්වභාවයයි. මොන මොන මතබේද තිබුණද අමරසේකර අපට සිටින විශිෂ්ඨතම ලේඛකයෙක් යන්න ගැන නම් අපේ විවාදයක් නැත. දැන්වත් අප විසින් මේ කවන්ධයට සරිලන හිසක් සොයගෙන ඇත්ද? ඒ උතුර –දකුන ලෙයින් එක්සේසත් කරන දියසේන කුමාරයාගෙ ඔලුගෙඩියද?? (අප ඉපදෙන්නටත් පෙර අමරසේකර විසින් “මේ රට බාරගන්නේ උගත් ගැමි තරුණ පරපුරයි” යනුවෙන් අභිෂේක කල ජවිපෙ, අද දියවී ගොස් ඇති සෙයකි.)

තිස් අවුරුදු යුද්දයකින් අද අපට ඉතිරිව ඇත්තේ මනාව ධ්‍රැවීකරනය වූ , බොල් පිලිම වලින් පිරි , කුනුවී ඕජස් ගලන සමාජයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. උතුරු –දකුණු ධ්‍රැවීකරණය වෙනුවට , මැද මාවතක සිහින දකින, උතුර-දකුණ යා කරන, දිණිසුරාණන් කෙනෙකු මේ ඕජස් ගලන සමාජයෙන් බිහිකරගත හැකිද?

4 comments:

  1. "විනාශයෙන් තොර ගොඩනැගීමක් ද නැත" -මාඕ සේතුං

    ReplyDelete
  2. @මකබාස්,

    ගුණදාස අමරසේකර ගැන ඔබේ නිරීක්ෂණය හා එකඟ නොවෙමි. ඔහු හොඳ ලේඛකයකු වන්නේ නම් ඒ එකම හේතුවක් නිසාය. සමාජයේ බොහෝ සංසිද්ධි සරල රූපක මඟින් කාව්‍යාත්මකව පැහැදිළි කිරීමට ඔහුට යම් හැකියාවක් තිබේ. (උදා: ඔබම කියන ඔය කවන්ධ කතාව) නමුත් චින්තකයකු හැටියට ඔහුත් රා බී වෙරි වූ මීයාත් සමානය. අඩු තරමින් අපව සිනා ගැස්සීමට නලින් ද සිල්වාට ඇති හැකියාව වත් මොහුට නැත.

    කෙසේ වෙතත් ඔබ නඟන ප්‍රශ්නය ගනිමු. කුණු වී ඕජස් ගලන දේහයෙන් ඔබ බලාපොරොත්තු වන්නේ සිංහයෙක් උපදිතියි කියාය. නැත. එබඳු දේහයන්ගෙන් උපත ලබන්නේ පණුවන් පමණකි. ඔබටත් මටත් කළ හැකි එකම දේ අපේ ශක්ති ප්‍රමාණයන් අනුව මේ දේහය පිරිසිදු කිරීමට හෝ බැරිනම් විනාශ කිරීමට පියවර ගැනීමය. දියසේනලා උපදිතියි බලා සිටීම නිරර්ථකය.

    ReplyDelete
  3. ලංකාවේ දැන් යුද්ධය කරන්නේත් මීට පෙර එය සිදු නොකළේත් ආණ්ඩුවේ දේශපේ‍්‍රමීත්ව පරිමාණය දැන් වැඩි නිසා නොව ලාංකීය කැසීනෝ ධනපතියන් රාජ්‍යයට පොලියට ණය දීමට තරම් දැන් පොහොසත් නිසා බවයි.

    මතවාදයේදී රාජ්‍යය සෑම විටම සංකීර්ණ ගැටළුවලට ඉතාම සරළ පිළිතුරු ගොනු කරන්නේ බහුජනයා අනගි භවනීය නායකත්වයක් සොයමින් සිටින නිසාය. සෝම හිමිගේ, නලීන් ද සිල්වාගේ සිට මහින්ද හා විමල් වීරවංශ දක්වා ඔවුන් දේශපේ‍්‍රමීත්වය දේශපාලන අවියක් කරගන්නේ එ් නිසාය. ලංකාවේ බහුජනයාට ඓතිහාසික සමාජ අවකාශයක් නැති නිසා ලතින් ඇමරිකාවේ මෙන් දේශපේ‍්‍රමීත්වය බහු ජනයාට හිමි දෙයක් වන්නේ නැත. සපාටා ගැන සිහි කරන සැපටිස්ටාවරුන්ට මෙන් නොව ලංකාවට සිහි කරන්නට වෙන්නේ රාජ්‍යයේ අංගයන්ය. මෙහිදී දේශපේ‍්‍රමීත්වය යනු රාජ්‍යයයි. එය ඊනයා පරදේශක්කාරයන්ට එරෙහිව ගොඩ නංවා ඇති, එනම් දෙමලා බහිශ්කරණය කිරීමෙන් ගොඩ නංවා ඇති රාජ්‍යයයි. කෙනෙකු මර්වින් සිල්වා පිස්සෙකු යැයි කියනු ඇත, නමුත් දේශපාලනය තුළ ඔහු රාජ්‍යයේ අංගයකි. රූපවාහිනී සංස්ථාවේ සේවකයන් අත්දුටුවේ මර්වින් නොව දකුණේ රාජ්‍යය යි. කැසීනෝ ධනේශ්වර පංතියේ පාලක උපකරණයයි.
    http://southernsf.wordpress.com

    ReplyDelete
  4. කතාව ඇත්ත. නමුත් යම් තරමකට දේශපාලන සමතුලිතතාවයකට පැමිණි රටවල් ඊට පෙර සිදු කලේත් කවන්ධයට සුදුසු හිසක් සෙවීම නෙවෙයි ද? මේක ලංකාවටම විශේෂ තත්වයක් නෙවෙයි.

    ReplyDelete